හැඳින්වීම
පළමුවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1591-1604) මහනුවර රාජධානියේ රජු වූ අතර, මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන ගියේය. ඔහු පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ, බුදු සසුන නගා සිටුවීමට කැපවූ සහ ආර්ථිකය ශක්තිමත් කළ විශිෂ්ට පාලකයෙකි.
මුල්කාලීන ජීවිතය සහ සිංහාසනාරූඪ වීම
උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු විමලධර්මසූරිය රජුගේ පියා, පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගිය ඔහු කතෝලික දහම වැළඳගෙන “දොන් ජෝන්” (දොන් ජෝන් ඔෆ් ඔස්ට්‍රියා) නමින් බෞතීස්ම ලබා සිටියේය.
උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට ඔහු උදව් කළේය. නමුත් පෘතුගීසීන් රජකමට පත් කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසීන් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප්ට වස දී මරා දැමීය. පෘතුගීසීන්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයිද කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම කතෝලික දහම අතහැර බුදු දහම වැළඳ ගත් ඔහු “පළමුවන විමලධර්මසූරිය” ලෙසින් සෙංකඩගල රජ විය.
ඔහු වීරසුන්දර බණ්ඩාරගේ පුතා වූ අතර, උඩරට නව රාජවංශයක ආරම්භකයා ලෙස සැලකේ. සිංහාසනාරූඪ වීමත් සමඟ ඔහුට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු විය. නීත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නොවීම ඉන් ප්‍රධාන විය. මෙය දෝන කැතරිනා හෙවත් කුසුමාසන දේවිය සරණපාවා ගැනීමෙන් නිරාකරණය විය.
පෘතුගීසීන් සමඟ ගැටුම්
පෘතුගීසීන් විසින් පළමුවන විමලධර්මසූරියට එරෙහිව ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී, දෝන කැතරිනා (කුසුමාසන දේවිය) ද සමඟ 1594 දී උඩරටට පහර දීමට පැමිණියහ. නමුත් ඔවුන් දන්තුරේදී පරාද වී පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජුගේ සේනාවට අසුවූ අතර, රජු ඇයව විවාහ කර ගත්තේය. දන්තුරේ සහ බලන සටන් මගින් පෘතුගීසීන් පරාජය කර මහනුවර රාජධානිය ඔවුන්ගේ ග‍්‍රහණයෙන් බේරා ගැනීමට ඔහු සමත් විය. තවද ගනේතැන්න සටනින් උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් ද මුදා ගැනීමට ඔහු ක්‍රියා කළේය.
ශාසනික සහ ආගමික සේවය
විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය ඉතා විශිෂ්ටය. රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ සෙංකඩගලට වැඩමවා, රාජ්‍යත්වයට නියම හිමිකම තහවුරු කර ගත් ඔහු, නිල වශයෙන් මුළු ලංකාවටම රජ බවට පත් විය (එහෙත් වෙරළබඩ තවමත් පෘතුගීසීන් සතු විය). බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කිරීමෙන්, පරිහානියට පත්ව තිබූ බුදු සසුන නගා සිටුවීමට ඔහු පුරෝගාමී විය. ගඩලාදෙණිය, රිදී විහාරය, ලංකාතිලකය ආදී වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.
ආර්ථික සංවර්ධනය
ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විමලධර්මසූරිය රජු විවිධ ක්‍රියාමාර්ග ගත්තේය. ඔහු ගොවිතැන හා කපු වගාව දියුණු කිරීම සඳහා පියවර ගත්තේය. කොත්මලේ සහ වලපනේ ප්‍රදේශවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම මෙන්ම ලුණුවෙඩි කර්මාන්තය දියුණු කිරීම ද ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර විය.
ලන්දේසීන් සමඟ සන්ධානය
පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ලන්දේසි ගවේෂකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් විසින් ඉදිරිපත් කරන ලදී. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාස කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මරණයට පත් වූහ.
නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීමට අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර්, විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙය පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලන යුගයක් ආරම්භ වීමට හේතු විය.
අභාවය සහ උරුමය
ක්‍රිස්තු වර්ෂ 1604 දී හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයකින් පළමුවන විමලධර්මසූරිය රජු මරණයට පත් විය. ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ට රජ කෙනෙකි. ඔහුගේ පාලන සමය තුළ මහනුවර රාජධානිය ශක්තිමත් වූ අතර, පෘතුගීසි ආධිපත්‍යයට එරෙහිව සාර්ථකව සටන් කරමින් දිවයිනේ ස්වෛරීත්වය රැක ගැනීමට ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නේය.