වසභ රජු, ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයෙහි කැපී පෙනෙන පාලකයෙකි. වී ගොවිතැනට අතිශයින් වැදගත් වූ මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා ඉතිහාසයට එක්විය. සුභරාජ රජු මරා සිහසුන පැහැර ගත් වසභ රජු, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව ලම්භකර්ණ රාජ වංශයක් ආරම්භ කළේය.
මුල් දිවිය සහ සිංහාසනාරූඪ වීම
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ළමා විය ගත කළේ රටෙහි උතුරු පළාතේදීය. එකල ඔහු රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කළේය. එවකට රටෙහි පාලකයා වූ සුභරාජ රජු හට, වසභ නමැත්තෙකු විසින් ඔහු පරාජය කොට රජ වන බවට ශාස්ත්‍රකාරයන් පවසා තිබුණි. මෙය වැලැක්වීමට සුභරාජ රජු නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි.
වසභගේ මාමා විසින් ඔහුව රජු වෙත ගෙන යෑමට තැත් කළේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ දැනුවත් කළ මාමාගේ බිරිය වූ මෙත්තා විසින් සිදුවන්නට ගිය ජීවිත හානියෙන් වසභව මුදවා ගත්තාය. සැඟව පලා ගිය වසභ, රහසේ හමුදාවක් රැස් කර ගති. අත්‍යන්තයෙහිදී ක්‍රි.ව. 67 දී සුභරාජ රජුට විරුද්ධව කැරැල්ලකට නායකත්වය සපයමින්, ඔහු සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. මෙත්තා නම් සිය නැන්දනිය විවාහ කර ගත් වසභ රජු, වසර 44ක් රාජ්‍යය පාලනය කළේ ක්‍රි.ව. 111 දී ඔහුගේ මරණය වන තුරුය. ඔහුගේ සිංහාසනාරූඪ වීමත් සමගම, ලම්භකර්ණ රාජ වංශය නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය.
රාජ්‍යත්වය සහ ජයග්‍රහණ
වසභ රජුගේ රාජ්‍ය කාලය ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සනිටුහන් කළේය. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11ක් සහ ඇළ 12ක් තනවන ලදි. දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයක් හේතුවෙන් මෙරට නිපදවන ධාන්‍ය සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීම නිසා, එතුමා මෙරට එම තත්ත්වය ඇතිවීම වැළැක්වීමට විශාල වැව් ඉදිකිරීමට පියවර ගත්තේය. මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න සහ ඇලහැර වැව වැනි වැව් කිහිපයක් මෙතුමා විසින් කරවන ලද වැව් අතර වේ.
බෞද්ධ ආගමික කටයුතු
එකල පැවති බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, වසභ රජු බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. මේවායින් එතුමාගේ ආගමික භක්තිය මෙන්ම රටෙහි ආගමික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට තිබූ කැපවීමද පෙන්නුම් කරයි.
රාජ්‍ය ව්‍යාප්තිය
වසභ රජුගේ බලය මුළු දිවයින පුරා පැතිර තිබූ බවට සාක්ෂි ඇත. මෙතුමා වල්ලිපුරම් රන් සන්නස පිහිටුවීය. ඉසිගිරි ඇමති යොදවා යාපනය පාලනය කර ඇත. උතුරේ යාපන අර්ධද්වීපයෙන්ද, දකුණේ සිතුල්පව්වෙන්ද, නැගෙනහිර මඩකළපුවෙන්ද, බටහිර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ලැබී ඇති සෙල්ලිපි මගින් එතුමාගේ බල ප්‍රදේශය තහවුරු කරයි.
උරුමය
වසභ රජුගෙන් ඇරඹි ලම්භකර්ණ රාජ වංශය පුරා අවුරුදු 370ක් දිවයින පාලනය කළ බව සඳහන් වේ. එතුමා ශ්‍රී ලංකාවේ ජලාපවහන කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය සඳහා නව මංපෙත් විවෘත කළ දූරදර්ශී පාලකයෙකු ලෙසින් අනුස්මරණය කරනු ලැබේ.