Iවන ජෙට්ඨතිස්ස රජ
Iවන ජෙට්ඨතිස්ස රජු (බු.ව. 805 - 815, ක්‍රි.ව. 267-277) අනුරාධපුර රාජධානිය පාලනය කළේය. ඔහු ගෝඨාභය රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, සිය පියාගෙන් පසු සිහසුනට පත්විය. ඔහුගේ පාලන සමය වසර දහයක් පුරා පැවතිණි.
සිහසුනට පත්වීම සහ මුල්කාලීන අභියෝග
ගෝඨාභය රජුගේ අභාවයෙන් පසු Iවන ජෙට්ඨතිස්ස රජු සිහසුනට පත්වුවද, ඔහුගේ රාජ්‍යත්වයේ ආරම්භය දැඩි දේශපාලන අර්බුදයකින් සලකුණු විය. ගෝඨාභය රජුගේ අවසන් කාලය වන විට, ඇතැම් ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රජු කෙරෙහි වෙනස් මත දැරූ අතර, ඔහුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පවා ප්‍රතික්ෂේප කළහ.
ඒ අනුව, ජෙට්ඨතිස්ස රජු සිහසුනට පත්වීමෙන් පසු, සිය මලණුවන් වූ මහසෙන් කුමරු පෙරගමන් යවා, ගෝඨාභය රජුගේ අවමංගල්‍ය පෙරහැරට සහභාගී වීමට අකමැති වූ ඇමතිවරුන් මාර්ගය අහුරා අල්ලා උල හිඳුවා මරා දැමුවේය. මෙම ක්‍රියාව, රජුගේ සොහොන වටා සිදු කිරීම නිසා මහජන අප්‍රසාදයටද හේතු විය. සිරිසඟබෝ රජු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රජු කෙරෙහි පැවති අප්‍රසාදයද මෙවැනි සිදුවීම්වලට හේතුවක් වන්නට ඇතැයි සැලකේ. භූත විද්‍යාවේ ප්‍රවීණයෙකු වූ සංඝමිත්‍ර තෙරුන්ගේ කුමන්ත්‍රණකාරී පිළිවෙත්ද මෙම තත්ත්වය උග්‍ර කිරීමට හේතුවක් විය හැකිය.
සංඝමිත්ත තෙරුන්ගේ බලපෑම
Iවන ජෙට්ඨතිස්ස රජු සිය බලය තහවුරු කර ගැනීමත් සමඟ, සංඝමිත්‍ර තෙරුන් දඹදිවට ආපසු ගියේය. මහා වංශ ටීකාවේ සඳහන් වන පරිදි, ඔහු එසේ ගොස් ඇත්තේ මහසෙන් කුමරු සමඟ සාකච්ඡා කර, මහසෙන් කුමරු සිහසුනට පත්වීමෙන් පසු තමා සොයා එන බවට දැනුම් දීමෙනි. මෙය අනාගත දේශපාලන කුමන්ත්‍රණයක පෙර නිමිත්තක් ලෙස සැලකේ.
ආගමික හා සිවිල් කටයුතු
ජෙට්ඨතිස්ස රජු සිය පියා මෙන් මහා විහාරීය භික්ෂූන්ට බෙහෙවින් පක්ෂපාතී විය. ඔහුගේ පාලන සමය තුළ ආගමික සහ සිවිල් යන අංශ දෙකෙන්ම කැපී පෙනෙන සේවාවන් රැසක් ඉටු කරන ලදී.
-
ආගමික ඉදිකිරීම්: ඔහු මහා විහාර සතරක් ඉදිකරවූ අතර, සිය පියා විසින් ආරම්භ කර තිබූ ලෝවා මහාපායේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළේය. මහා බෝධියට අලංකාර තොරන් දෙකක්ද ඉදිකරවූ අතර, මහා සෑයට (රුපුවැලිසෑයට) අනගි මැණිකක් පූජා කළේය. ථූපාරාමයේ තිබූ බුදු පිළිමයක් පාචීන තිස්ස පබ්බත විහාරයට වැඩමවා තැන්පත් කිරීමද ඔහුගේ ප්‍රධාන ආගමික කටයුත්තක් විය. වර්තමානයේ නුවර වැවේ බැම්මට උඩින්, මිහින්තලා පාරට උතුරින් දිය අගලකින් වට වූ නටඹුන් වූ භූමිය ප්‍රාචීන තිස්ස පබ්බත ආරාමය ලෙස හඳුනාගෙන ඇත.
-
සිවිල් ඉදිකිරීම්: ජෙට්ඨතිස්ස රජු වැව් හයක් කරවා ජනතාවගේ වාරි කටයුතු සඳහා දායක විය.
රාජ්‍ය පාලනය
මුල් කාලීන ඇමතිවරුන් ඝාතනය කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගත්තද, ක්‍රමයෙන් රට පුරා සිය අණසක පවත්වාගෙන යාමට Iවන ජෙට්ඨතිස්ස රජු සමත් විය. ඔහුගේ රාජ්‍ය සමය තුළ මහසෙන් කුමරු පිළිබඳව වැඩි සඳහනක් හෝ විශේෂ තොරතුරක් ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි නොවේ. එසේම, ජෙට්ඨතිස්ස රජුගේ රාජ්‍ය සමය තුළ පිහිටුවන ලද සෙල්ලිපිද දැනගන්නට නොමැත. කෙසේ වෙතත්, ඔහුගේ පාලනය ස්ථාවරව පැවති අතර, ඔහු රටේ සංවර්ධනයට හා ආගමික කටයුතුවලට සැලකිය යුතු දායකත්වයක් සැපයූ බව පැහැදිලිය.