ගෝඨාභය රජුගේ අභාවයෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් වුයේ ඔහුගේ පුත් කාකවණ්ණතිස්ස හෙවත් කාවන්තිස්ස කුමරුය. ගෝඨාභය රජුගේ කාලයේ පටන්ම රුහුණ මුළුමුනින්ම පාහේ එක්සත්ව පැවතිණි. කාවන්තිස්ස රජුගේ පාලන සමයේදී අනුරාධපුර එලාර රජුගෙන් එල්ලවිය හැකිව තිබූ තර්ජන පිළිබඳව ඔහු මුලසිටම අවධානයෙන් පසුවිය.
එළාර තර්ජනයට මුහුණදීම
එලාර රජු අනුරාධපුරය ආක්‍රමණය කරනු ලැබුවේ කාවන්තිස්ස රජු රාජ්‍යයට පත්වී අවුරුද්දකට පමණ පසුවය. මේ වන විට රුහුණු රටට අයත්ව පැවති යොම නුවර, සේරු නුවර, ලෝන නුවර යන ප්‍රදේශ තුන පිළිවලින් අභය, සිව හා මහා නාග යන ප්‍රාදේශීය පාලකයන් තිදෙනෙකු යටතේ පාලනය විය. එලාර රජුගෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව කාවන්තිස්ස රජු මුල සිටම අවධානය යොමු කළ අතර, එයට මුහුණදීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීය.
රාජ්‍ය ආරක්ෂක විධිවිධාන
මහා වංශයේ සඳහන් වන පරිදි, රජු මුලින්ම කළේ තමාගේ යුද හමුදාව ශක්තිමත් කිරීම හා රුහුණේ දේශසීමාව යුද හමුදාව ලවා ආරක්ෂා කිරීමයි. රජුගේ බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු බල වාහන සහිතව දිගා වැව ප්‍රදේශයේ ආරක්ෂාව සැපයීම සඳහා යවන ලදී. එසේම, රජුගේ වෙනත් බිසවකගේ පුත්‍රයකු වූ දීඝභය නම් කුමරුකු මාගමේ කසාතොට රැකවලේ යෙදවූ බව ද වංශකතාවල සඳහන් වේ.
කෘෂිකර්මාන්තය දියුණු කිරීම
එළාර රජුගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් යුද්ධ කාලයේ දී ආහාර හිඟය ඇතිවීම වැලැක්වීම සඳහා රජු ඊළඟට කළේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමයි. මෙය ඔහුගේ දූරදර්ශී පාලනයට කදිම නිදසුනකි.
අනුප්‍රාප්තික සැලසුම් සහ පුතුන්
තමාගේ මරණයෙන් පසු තම සිංහාසනය සඳහා පුතුන් දෙදෙනා (දුටුගැමුණු හා සද්ධාතිස්ස) අතර සටන් ඇතිවීම වැලැක්වීම සඳහා සහ එම අවස්ථා මුල් කරගෙන එළාර රජු ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා හා හමුදාව ඉදිරියේ පුතුන් දෙදෙනා පොරොන්දු කරවීය. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු නොවීය. මහා වංශයේ සඳහන් වන පරිදි, දුටුගැමුණු කුමාරයාට නම් තබන අවස්ථාවේදී රජතුමා විසින් එළාර රජු පලවා හැර රට එක්සත් කිරීමේ කාර්යභාරය තම වැඩිමහල් පුතු විසින් සිදුවේ යැයි ප්‍රාර්ථනාවක් කළේය.
රාජ්‍ය කාලය හා මරණය
කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 45ක් පමණ වූ බව මහා වංශයේ සඳහන් වේ. ඔහු මියයන විට අවුරුදු 64ක් විය. ඔහුගේ පාලන සමය තුළ ආර්ථික වශයෙන් පමණක් නොව ශාසනික වශයෙන් ද කැපී පෙනෙන දියුණුවක් ඇති විය.
ආර්ථික හා ශාසනික දියුණුව
මෙම රජුගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා බුදු දහම විශාල දියුණුවක් ලැබීය. රුහුණු රාජධානිය සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් විය.
ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ
කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබූ වෙහෙර විහාර 64කි. මගම්තිස්ස විහාරය, ජාත පබ්බත විහාරය, රුහුණේ සිතුල්පවු විහාරය, ත්‍රිකුණාමලේ වෙල්ගම් වෙහෙර, සේරුවිල මංගල මහා චෛත්‍ය මින් සමහරකි. පූජාවලියේ සඳහන් වන පරිදි, මෙම රජු විසින් කැළණි විහාරය ද ප්‍රතිසංස්කරණය කරන ලදී.