හැඳින්වීම
ධාතුසේන රජු ක්‍රි.ව. 455 සිට 473 දක්වා කාලය තුළ අනුරාධපුරය අග නගරය කර ගනිමින් ශ්‍රී ලංකාව පාලනය කළ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජු ලෙස සැලකේ. සමහර ඓතිහාසික වාර්තා වල ධාතුසේන රජු “දසන්කෙළි” යන නාමයෙන් ද හඳුන්වා දී ඇත.
රාජ්‍ය පාලනය සහ එක්සත් කිරීම
ධාතුසේන රජුගේ රාජ්‍ය පාලන කාලය සනිටුහන් වන්නේ රට මුහුණ දුන් අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමෙනි. එතුමා සිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටසක් පාලනය කරමින් සිටි දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පරාජය කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයෙන් පසු වසර 26 කට පසුව මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කිරීමට ධාතුසේන රජු සමත් වූ අතර, එය ඔහුගේ පාලන සමයේ ප්‍රමුඛතම සන්ධිස්ථානයක් විය.
වාරි කර්මාන්ත
ධාතුසේන රජු ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දුන් පාලකයෙකි. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ විශාල වාරි කර්මාන්ත 18ක් කරවන ලදී. මේවායින් යෝධ ඇළ, කලා වැව සහ බලලු වැව ප්‍රධාන වේ. මහාවංශයේ සඳහන් වන පරිදි ධාතුසේන රජතුමා විසින් කරවන ලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදිය ප්‍රමුඛ වේ. මෙම දැවැන්ත වාරි ව්‍යාපෘති රටේ කෘෂිකර්මාන්තයට සහ ජනතාවගේ ජීවනෝපායට මහත් පිටිවහලක් විය.
ආගමික සහ කලා කටයුතු
ධාතුසේන රජුගේ පාලන සමය තුළ ආගමික සහ කලා ක්ෂේත්‍රයන්හි ද විශිෂ්ට නිර්මාණ සිදු විය. ලංකාවේ අතිශය වැදගත් බෞද්ධ ප්‍රතිමාවක් වන අවුකන බුද්ධ ප්‍රතිමාව ද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ කරවන ලද විශාල බුද්ධ ප්‍රතිමාවකි. මෙය එතුමාගේ ආගමික භක්තියට සහ කලා අනුග්‍රහයට කදිම නිදසුනකි.
මරණය
ධාතුසේන රජුගේ ජීවිතය ඛේදනීය අවසානයකට පත් විය. පසුකලෙක සිගිරිය තම රාජධානිය කරගත් එතුමාගේ පුත්‍රයා වූ කාශ්‍යප රජු, තම පියා වූ ධාතුසේන රජුව කලා වැවේ වැව් බැම්මට තබා පස්ගසා ඝාතනය කරන ලදී. මෙම සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් කම්පනීය සිදුවීමක් ලෙස සැලකේ.
පසුව ඇතිවූ තත්වය
කාශ්‍යප රජු බලය අල්ලා ගැනීමෙන් පසු, ධාතුසේන රජුගේ තවත් පුත්‍රයෙකු වූ මුගලන් කුමරු භීතියට පත්ව ඉන්දියාවට පලා ගිය බව මහාවංශයේ සඳහන් වේ. මුගලන් පලා ගියේ කොහේද යන්න මහාවංශයේ පැහැදිලිව සඳහන් නොවුණත්, බොහෝ විට ඔහු සිය මවු පාර්ශ්වයේ ඥාතීන් වාසය කළ පල්ලව දේශයට පලා යන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම සිදුවීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි දේශපාලන ගමන් මගට බෙහෙවින් බලපෑවේය.